RSS

ධර්මය දිවියට ගැළපූ විට ලැබෙන සුව අපමණය

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

හොඳට මතක තියාගන්න, අපි ධර්මය ඉගෙන ගන්නවා මෙන්ම, ඒ ධර්මය ජීවිතයට ගළපා බලන්නත් පුරුදු විය යුතුයි. එලෙස අප පුරුදු ගැනීමෙන් රාගය, ද්වේෂය, මෝහය අපේ සිතේ ඉස්‌මතු වෙලා එද්දී එයට යට නොවී අපේ හිත රැකගන්ට අවස්‌ථාව ලැබේ. නමුත් මේ කටයුත්ත තම තමා තනිවම කරගත යුතුය. කල්‍යාණ මිත්‍රයා කරන්නේ ඒකට මඟ පෙන්වීම යි. ඒ උපකාරය ඇතුව තමා විසින් කරගත යුතු ප්‍රධානම දෙයක්‌ වන්නේ යෝනිසෝමනසිකාරය ඇති කර ගැනීම.

අපි ආර්ය සත්‍යය හොඳින් ඉගෙන ගත යුතුය. ඉගෙන ගෙන මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුකේ නැතිවීම, මෙයයි දුක නැති කිරීමේ මඟ යන මේ ආර්ය සත්‍යය අපගේ ජීවිතයට ගළපා බැලීමට අපි පුරුදු විය යුතුය. එය අප හුරුකරගත යුතුය. නමුත් බොහෝ අය ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බැලීමට පුරුදු නොවේ. ඉක්‌මනින් සමාධිය ඇතිකරගැනීමටය කල්පනා කරනුයේa. මෙය බොහෝ අයට තිබෙන අර්බුදයකි.

ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බලන අයට ධර්මය ඉගෙනගැනීමේ කැමැත්ත උපදී. ධර්මය ඉගෙන ගැනීමට තව කැමැති වේ. ඒ අපේ ජීවිතේ සම්බන්ධයෙන් කලින් ඉගෙන ගෙන නැති දේවල් අපිට ඉගෙන ගැනීමේ අවස්‌ථාව ආර්ය සත්‍යය තුළින් ලැබෙන නිසා. තවත් කෙනෙක්‌ ඉන්නවා එයා ජීවිතයට ධර්මය ගළපා බලන්ට කල්පනා කරන්නේ නැහැ, ඉක්‌මනින් සමාධිය ඇතිකරගන්න කල්පනා කරනවා. එවිට එයාට කැමැත්තක්‌ එයිද පොත පත බලන්න. නැහැ... එයා ඉඳගෙන ඉන්න තමයි කල්පනා කරන්නේ. ඇයි එයා උත්සාහ කරන්නේ සමාධියක්‌ සඳහා. එයා ධර්මය ජීවිතයට ගළපා බලන්න උත්සාහ කරන්නේ නැහැ.

මේ ධර්මය තුළ මුළුමනින්ම තිබෙන්නේ අපේ ජීවිතයේ ඇත්ත කථාවයි. මේ ජීවිතයේ අභ්‍යන්තර තොරතුරු ධර්මයෙන් කියා දේ. එවිට ධර්මය තුළින් ජීවිතය බලන කෙනාට ජීවිතයේ යථාර්ථය ඉගෙන ගන්න කැමැත්තක්‌ උපදී. තවත් මොනවාද මේ ධර්මයේ තිබෙන්නේ යෑයි සොයා බැලීමට ධර්මය ඉගෙන ගන්න ආසා හිතෙනවා.

එවිට ධර්මය ආසාවෙන් ඉගෙන ගන්නවා. මෙහෙම ධර්මය ඉගෙන ගන්න කෙනාට ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නට කැමැත්තක්‌ උපදී. ඔහු වීර්යයෙන් භාවනා කරන්න පටන් ගනී. එවිට සමාධිය උපදී. එසේ නම් සමාධිය උපදින්නේ කාටද? වීර්යයෙන් භාවනා කරන කෙනාට. වීර්යයෙන් භාවනා කරන්නේ කවුද...? ධර්මය ඉගෙන ගන්න ආසා කෙනා තමයි වීර්යයෙන් භාවනා කරන්නේ. ධර්මය ඉගෙන ගන්න ආසා හිතෙන්නේ කාටද...? ජීවිතයට ධර්මය ගළපා බලන කෙනාට. එහෙම නම් අපි විසින් කළ යුත්තේ මොකක්‌ද...? ජීවිතයට ධර්මය ගළපා බැලීම. එලෙස ජීවිතයට ධර්මය ගළපා බලමින් නුවණින් කල්පනා කිරීම යෝනිසෝමනසිකාරය නමින් හඳුන්වනවා.

අපි ජීවිතයට ධර්මය ගළපා බලන්නේ නැතිව කඩිමුඩියේ භාවනා කිරීමට ගියොත්, එයාගේ කල්පනාව තියෙන්නේ 'ඉක්‌මනින් සමාධිය ඇතිකරගත යුතුයි කියන අදහස තුළයි. එයාට පොත පත බලන්න, දේශනා අහන්න, ධර්ම සාකච්ඡා කරන්න ඒවාට හිත පිහිටන්නේ නැහැ. ඒ නිසා හොඳට ඔබේ ජීවිතය තුළින් විමසා බලන්න, ඒ ස්‌වභාවය තිබෙනවා නම් එයට ඉඩ දෙන්න එපා. අපි පොත පත බලා ධර්මය ඉගෙන ගැනීමත්, භාවනා කිරීමත් කියන දෙක සමබර කරගත යුතුයි. වත් පිළිවෙත් කිරීම, වන්දනා කිරීම මේ හැම කටයුත්තක්‌ම අපි සමබරව කරගත යුතුය. ඒ අතරේ තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මය ක්‍රියාත්මක වෙන ආකාරය, ධර්මය ජීවිතයට ගළපා බලමින් තේරුම් ගැනීමට පුරුදු විය යුතුය.

එහෙම නම් අපි මුලින්ම ආර්ය සත්‍යය ඉගෙන ගත යුතුය. ඒ ඉගෙන ගන්නා වූ ආර්ය සත්‍යය තමන්ගේ ජීවිතයට ගළප ගළපා බැලීමත් කළ යුතුය. කොහොමද ජීවිතයට ගළපමින් බලන්නේ...? 'මම වයසට යන කෙනෙක්‌, මම ඒ වයසට යන ස්‌වභාවය ඉක්‌මවා නැහැ...' යෑයි කල්පනා කරන්න. ඒක ආර්ය සත්‍යයක්‌ නේද...? ඒක තමන්ගේ ජීවිතයට ගළපමින් බලන්න. 'මම ලෙඩ වෙන කෙනෙක්‌, මම ඒ ලෙඩ වෙන ස්‌වභාවය ඉක්‌මවල නැහැ...' යනුවෙන් කල්පනා කරන්න. 'මම මැරෙන කෙනෙක්‌, මම ඒ මරණයට පත්වෙන ස්‌වභාවය ඉක්‌මවල නැහැ...' යෑයි කල්පනා කරන්න. ආර්ය සත්‍යය තුළ තිබෙන්නේ මෙය නේද? ඒ ආර්ය සත්‍යය තුළ උගන්වන දේ තමන්ගේ ජීවිතයට ගළපා බැලීමට පුරුදුවෙන්න. අන්න ඒ විදිහට බලන කෙනාට කැමැත්ත උපදිනවා මේ ධර්මය ඉගෙන ගන්නට. ඒ වගේම මේ ධර්මයේ හැසිරෙන්න. මේ ධර්මයේ කියා දෙනවා ඉපදීම නිසා වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම කියන මෙන්න මේ දේවල් හටගන්න බව. එවිට අපේ ජීවිතය තුළ මේ දුක්‌ දොම්නස්‌ හටගනී. එවිට එයා තමන්ගේ ජීවිතයේ හටගන්නා දුක්‌ දොම්නස්‌ ධර්මයේ සඳහන් වන ආකාරයට තමන්ගේ ජීවිතය එක්‌ක ගළපා බලනවා. මේ දුක මේ දොම්නස, ඉපදීම නිසා හටගත්ත එකක්‌ යෑයි කල්පනා කරනවා. එයා ඒ විදිහට ධර්මය ජීවිතයට ගළපා බලනවා.

එහෙම නම් බලන්න අපේ හිතට දුක, දොම්නස එද්දී ඒ ආකාරයෙන් ධර්මය සිහි වෙනවද කියල. ඒ වගේ දුකක්‌ දොම්නසක්‌ හටගත්ත වෙලාවට අපි ධර්මය සිහිකළොත් අපිට යෝනිසෝමනසිකාරය පුරුදු කරගැනීමට අවස්‌ථාව තිබෙනවා. අපි තේරුම්ගත්තොත් මේ දුක හට ගන්නේ හිතේ කියල, අපි ඒ දුක ආර්ය සත්‍යය සමඟ ගළපා බැලුවොත් අන්න අපිට යෝනිසෝමනසිකාරය උපදවාගන්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා අපේ ජීවිතයේ දුක්‌ දොම්නස්‌ හටගන්න කොට ධර්මයත් එක්‌ක ගළපා බලන්න. එවිට එයා තමාගේ ජීවිතය තමා විසින්ම දියුණු කරගන්නවා.

ඔබ අසනීප වෙලා ඇඳට වැටෙනවා. එතකොට වුනත් මේක කරන්න බැරිද? දැන් ඔබට උණ හැදුනා යෑයි හිතන්න. අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ...? Ñඅනේ මට උණ, භාවනා කරගන්නත් බැහැ. පොත් බලන්නත් බැහැ. මොකද කරන්නේ? යනුවෙන් ඔබ කල්පනා කරනවා. ඇයි ඔබට බැරි මේ ලෙඩවීම දුකට අයිති දෙයක්‌ කියල. ඒකට හේතුව තමයි ඔබ ධර්මය ජීවිතයට ගළපා බලන්ට නොවෙයි මහන්සි වුණේ. ඉක්‌මනින් සමාධිය ඇතිකරගන්න ඕන බවයි කල්පනා කළේ. ඒ නිසා ඔබට ඒ වෙලාවට ධර්මය සිහිවෙන්නේ නෑ. ධර්මය ජීවිතයට ගළපා බලන කෙනාට ලෙඩ වුණත් ලේසියි. ඇයි ඒ නිමිත්ත තමන් ළඟම තියෙනවා. හතුරා හොය හොය ඉන්න සොල්දාදුවාට හතුරා ළඟට ආවා වගේ දැන් එයාට. දැන් එයා දුවයිද...? සතුටුවෙයිද...? සතුටුවෙනවා.

ඇයි සතුරා ළඟට ආ විට සතුරා අල්ල ගන්න එක ලේසියි. මොකද සතුරා අල්ලගත්තාම එයා දිනනවානේ. අන්න ඒ වගේ අපිත් සතුරා හොයන අය බවට පත්වෙන්ට ඕනෑ. මොකක්‌ද සතුරා...? දුක. ලෙඩවීම දුකයි. වයසට යැම දුකයි. මරණයට පත්වීම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. මේකෙන් නොවේද අපිට නිදහස්‌ වීමට තිබෙන්නේ...? එවිට අපි තුළ මේ දුක තියෙනවා දැක්‌කොත් අපිට ඒකෙන් නිදහස්‌වීමට අවස්‌ථාව තිබෙනවා.

ඒ නිසා අපි හොඳට ඉන්න වෙලාවේදී අපේ ජීවිතයට ආර්ය සත්‍යය ගළපමින් බැලිය යුතුය. ඒ ලෙස හොඳට ඉන්න වෙලාවේදී අපි කල්පනා කර බැලිය යුතුයි, 'මම ලෙඩ වෙන කෙනෙක්‌, මම ඒ ලෙඩ වෙන ස්‌වභාවය ඉක්‌මවා නැහැ...' කියල. 'මම වයසට යන කෙනෙක්‌, මම වයසට යන ස්‌වභාවය ඉක්‌මවල නැහැ...' කියල. 'මම මරණයට පත්වෙන කෙනෙක්‌, මම ඒ මරණයට පත්වෙන ස්‌වභාවය ඉක්‌මවල නැහැ...' යනුවෙන් කල්පනා කළ යුතුය. එය පුරුදු කළ යුතුය.

අපි හිතමු කෙනෙක්‌ මේ ආකාරයට 'මම ලෙඩ වෙන ස්‌වභාවයෙන් යුක්‌ත යෑයි කල්පනා කරමින් ඉන්නවා. මෙහෙම සිටිද්දී එයා ලෙඩ වෙනවා. දැන් එයා සිහිකරපු දේ එයා තුළින් බැහැර වෙයිද...? නැහැ. එයාට තවත් පහසුවෙන් ඒක සිහිකරන්න පුළුවන්. එහෙම කළාට ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. නමුත් එයාට ලෙඩේට යට නොවී සිටීමේ හැකියාව තිබෙනවා. ඒ, දැන් එයා ධර්මය දකිනවා. Ñබුදුරජාණන් වහන්සේ පහදා දුන්නේ මෙය බව''. එවිට එයා ධර්මයට පහදියිද නැද්ද...? පහදිනවා. එයා තේරුම් ගන්නවා මට වගේමයි අනිත් අයටත් ලෙඩ වීම දුකයි කියල.

මට වගේම තමයි අම්ම ලෙඩ වුණොත් අම්මටත් මේක දුකක්‌. තාත්තා ලෙඩ වුණොත් තාත්තාටත් මේක දුකක්‌මයි. අතීතයේ යම් කෙනෙක්‌ ලෙඩ වුණා නම් ඒකත් දුකක්‌. අනාගතයේ යම් කෙනෙක්‌ ලෙඩ වෙනවා නම් ඒකත් දුකක්‌. මේ ලෝකයේ සියලු දෙනාටම ලෙඩවීම දුකක්‌. ලෙඩවීම දුකක්‌ නොවේ යෑයි කියන්න පුළුවන් කෙනෙක්‌ නැති බව එයා තේරුම් ගන්නවා. මෙහෙම තේරුම් ගන්නේ ඇයි...? තමා තුළම ලෙඩවීම දුකක්‌ යෑයි තමා දැක්‌කා. තමන් තුළම ලෙඩවීම දුකක්‌ යෑයි තේරුම් ගත්තා. මෙහෙම තේරුම් ගත්තේ කොහොමද...? ආර්ය සත්‍යය ගළපා බැලීමෙන්. මේ විදිහට ආර්ය සත්‍යය ගළපා බලද්දී තවදුරටත් ජීවිතය හොඳින් තේරුම් ගැනීමට අවස්‌ථාව සැලසේ. මේ ජීවිතය හොඳින් තේරුම් ගන්න, ජීවිතය ගැන කියා දෙන ධර්මය හොඳින් ඉගෙන ගන්නවා. මේ දුක හටගන්නේ මොකෙන්ද...? තණ්‌හාවෙන්.

මේ හැම දෙයක්‌ම ධර්මය තුළ කියල දෙනවා. එයා ආසාවෙන් ඒවා ඉගෙන ගන්නවා.

ඊට පස්‌සේ එයා ඒ දුක දුරුකිරීමට කළ යුතු දෙය ධර්මය තුළින් ඉගෙන ගන්නවා. ඒ තණ්‌හාව දුරු කරන්න කැමති වෙනවා. එයා වීර්යයෙන් භාවනා කරනවා. අන්න එයාට යම් කලෙක සමාධියක්‌ ඇති කර ගැනීමේ ඉඩකඩක්‌ තියෙනවා. අවස්‌ථාවක්‌ තියෙනවා.

නමුත් යම් කෙනෙක්‌ ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බලන්නේ නැහැ, එයා බලනවා සමාධිය උපදවාගන්න. එයාට ඔන්න හෙම්බිරිස්‌සාවක්‌ හැදෙනවා. එහෙම නැත්නම් කොන්දෙ අමාරුවක්‌ එනවා. මොකද කරන්නේ...? එයා කඩා වැටෙනවා. 'අයියෝ... අද ඔළුවෙ අමාරුව. මට මොකුත් කරගන්න බැහැ...' එයා සම්පූර්ණයෙන් කලබල වෙලා යනවා. මේ නිසා අපි විසින් කළ යුත්තේ මොකක්‌ද...? වහා වහා කඩිමුඩියේ ඉඳගෙන සමාධිය උපදවාගන්නවා යනුවෙන් කල්පනා කර ඉඳගැනීමද...? ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බැලීමද?. ඒ ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්‌වීම, දුක්‌ දොම්නස්‌, සුසුම් හෙලීම්, අ`ඩන වැළපෙන ස්‌වභාවයන් මෙන්න මේ දුක්‌ ගළපා බලන්න ජීවිතයට. මගේ ජීවිතේ තුළත් මේවා තියෙනවා නේද? කියල. මේවා ජීවිතය තුළ තිබෙනවා. ඒ දුක්‌ ස්‌වභාවය මේ ජීවිතය තුළ තියෙනවා යෑයි තේරුම් ගන්න බලන්න. එවිට යෝනිසෝමනසිකාරය උපදවාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ ලෙස ධර්මය ජීවිතයට ගළපා බැලීම යෝනිසෝමනසිකාරය යි. එවිට එයා බලවත්ව ඒ ලෙස පුරුදු කරන කොට ඒ යෝනිසෝමනසිකාරය එයා තුළ පවතින එකක්‌ බවට පත්වෙනවා. එවිට රාගය ඉස්‌මතුවෙලා හෝ වේවා ද්වේෂය ඉස්‌මතු වෙලා හෝ වේවා මෝහය ඉස්‌මතු වෙලා හෝ වේවා යම් ගැටලුවක්‌ ඇතිවුනොත් ඒ ගැටලුව නිරාකරණය කරගැනීමේ අපහසුවක්‌ ඇති නොවේ. ධර්මය සිහිකර එය දුරුකරගැනීමට අවස්‌ථාව උදා වේ. නමුත් බලවත්ව සිත වැසී තිබුණොත් එයා වහ වහා කල්‍යාණ මිත්‍රයා ළඟට ගිහින් විවෘත වීමෙන් ඒ ගැටලුව නිරාකරණය කරගන්නවා.

ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි විසින් කළ යුතු වන්නේ ධර්මය ජීවිතයට ගළපමින් යෝනිසෝමනසිකාරය ඇතිකරගැනීමයි. එහෙම කල්පනා කර යෝනිසෝමනසිකාරය ඇතිකරගත්තොත් එයාට පුළුවන් වෙනවා රාගය ඉස්‌මතු වෙලා එනකොට ඒ රාගයට යට නොවී සිටීමට. ද්වේෂය ඉස්‌මතු වී එද්දී එයට යට නොවී සිටීමට. මෝහය ඉස්‌මතු වී එද්දී එයට යට නොවී සිටීමට. ලෙඩක්‌ හැදුනොත් එයට යට නොවී සිටීමට. කෙනෙක්‌ නින්දාවක්‌ කළොත් ඒකට යට නොවී ඉන්න. කෙනෙක්‌ ප්‍රශංසාවක්‌ කළොත් ඒකට යට නොවී ඉන්න.

එහෙම පුළුවන් වෙන්නේ යෝනිසෝමනසිකාරය උපදවාගැනීමෙන්, යෝනිසෝමනසිකාරය පුරුදු කර ගැනීමෙන්මයි. වෙන ක්‍රමයකින් නොවෙයි. ඒ යෝනිසෝ මනසිකාරය උපදින්නේ කොහොමද...? ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බැලීමෙන්. වෙන ක්‍රමයකින් නොවෙයි. එවිට අපි ඉගෙන ගන්නවා, පුරුදු වෙනවා යෑයි කියන්නේ ඒ යෝනිසෝමනසිකාරය ඇතිකර ගැනීම පිණිස ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බලන්න පුරුදු වීමයි. සියලු දෙනාටම ඉතා ඉක්‌මනින්, තම තමන්ට හැකි පරිද්දෙන් යෝනිසෝමනසිකාරය උපදවා ගැනීම පිණිස, ආර්ය සත්‍යය ජීවිතයට ගළපා බැලීම පිණිස භාග්‍යය උදාවේවා!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment